February 06, 2012

පියෙකුගේ විලාපය...



ගිනි නිවුණ තල් අරඹ
හෙලයි සැනසුම් සුසුම්
දළු දමා පීදෙන
ළපටි කැල දකිමින

තවම කළු දුමාරය
පහව නැත මසිතින්,
හීනෙනුත්  කොදුරණ
අහිමි දරු පෙම මිස

අහස් කුස පීරන
කදුළු හිඟ දෙනුවන්,
සොයා තරු කැට අතර
නැසී ගිය පුතු දෙපළ

ඉතිරි පුතුනුත් රැගෙන
හැර ගියා බිරිදත්,
මහා ගිරි දුක් කන්ද
තබා වැහැරුණ ගෙපැල

නෙත් අයා පියවි ලොව
කෙසේ මේ දුක දරම්
රා පැනින් මත්ව ඉද
ඔහේ තෙපලනු මිස

බළල් පැටියෝ නුඹ හැර
නොමැති කල මට කිසිවෙක්,
අසාපන් මේ දුක් කව
වඩිනතුරු නිදි ලෝකෙට



පසුවදන:
මෙය මා විසින් ලත් අත්දැකීමක් ඇසුරිනි. දිනක් යාපනය, කරෙය්නගර් හි මා මිතුරෙකුගේ නිවසේ සතුටු සාමිචියේ යෙදෙමින් සිටි අතරතුර කටගොන්නක් බී ගත් වයසක පුද්ගලයෙක් පූස් පැටවෙක්ද පපුවෙහි හොවාගෙන ඔහුගේ නිවසට පැමිනියේ මිතුරාවත් අපහසුතවයට පත් කරමිනි. ඔහුගේ නිවසේ අනිත් අය ඉතා අපහසුවෙන් එම පුද්ගලයා නිවස පිටිපස්සට දැක්කුවද, ඔහු පූස් පැටවත් සමඟ කරන සන්වාදය අපි දුටිමු. එය මුලින් අපට සිනහ වීමට කාරනයක් පමණක් වුවද පසුව ඔහු දමිළ බසින් කෙරෙන සන්වාදය මිතුරා විසින් පැහැදිලි කල පසු එම අනුවේදනීය පුවත මට දැන ගන්නට ලැබුනි. අවසානයේදි, එය මා විසින් මෙලෙස කවි පන්තියක් ලෙස ගලපන්න ගත් වැයමයි මේ.

December 28, 2011

වස්සානේ විභාගය.....



අඩවන් වු කවුළු දොර
විසුළ හිරිපොද කුටියට
හිරිගඩු පිපෙයි සියොලඟ
දැවැටි සීතල සුෂර පොදකට

පඬු පැහැවු කොළ ගොන්නක
පුස් ගදට හැකිලි උවනත
පිබිදි එන හැටි බිඳ බිඳ
දූලි සුවඳට විසිර පැතිරුන

"චිරි චිරි" සරට යොමු වූ සවනින්
සීත මුදු නළ පහස විදිමින්
දෙපා සිට ගත පොරොව ගනිමින්
නිදා ගන්නට හිතෙයි දැන්නම්

අත ළඟට විත් සැරෙන් ඔරවන
විභාගය රුදු මෘග වෙස්  ගෙන
බල කරයි කොල ගොන්නෙ රැදුමට
මo තනන්නට උසස් වීමට

පියවි ලොව වෙත පා නගන්නෙමි
කවුළු දොර ඇද අගුලු ලන්නෙමි
පඬු පැහවු කොල ගොන්න වෙත යමි
හෙට දිනන්නට සීත උහුලමි

December 14, 2011

හෙට වෙනකම්.....




සීතල රෑ අඳුරු කොනෙක
දුරකථනෙට රහස් කියන
නිම් ඉම් නැති මුනුමුනුවක,
හෙට පලඳන රන් මුදුවෙන්
පැහැබර  වන නව ලොව ගැන...

සේපාලිකා මුදු සුවඳට
ආල හැඟුම් විකසිත වන
නිදි නැති හදවත් අද්දර,
බොර දම් පැහැ සඳවතියත්
ඔච්චම් කර හැoගෙන හැටි....

සේපාලිකා මල් කැකුළියෝ
ගහ යට මියැදෙන්නට පෙර
නිදි දෙව් හා තුරුල් වෙන්න,
අප ලොව හෙට, බෝ දුර මුත්
සිහිනෙන් විත් කොපුල් සිඹිමි  ….

October 23, 2011

අළුත් දිනකට.....


අළුත් දිනකට දිරිය මුහු කල
මල් පුසුඹ රැඳි සිහිල් මද නල
විඳගන්න බැරි නිමේෂෙක මම
සුළo කෝඩෙට ඔබ මුවින් වට

මහ මෙරක් තරමට විසල්
ආල මැඳුරේ නැත හිඩැස්
තුරුණු විය දඟකාරකම්
ටික කළයි, නැත සදාකල්

ගියත් මිතු හා සවාරී
ඔබත් මා ළඟ කුමාරී
රළු වදන් වැල් දොඩන්නී
නෙත් පුරා විෂ කටු ඇනී

මල් පුසුඹ රැදි සිහිල් මද නල
ලය පුරා විඳගනිමු සිත් ලෙස
බොලඳ හැඟුමට වාල් වී කිම
නිමල පෙමකට නිගා කෙරුමට

September 20, 2011

වෙසඟන පහස....


මිහි බට සුරඟනකි
රැයටම මොණරු හතරකි
සළුපට මෑත් වුනි
කම් සැප සොයා කිමිදුනි

හීන් කෙදිරිය නැවතුනි
යහන දෙපසක ඇලවුණි
ළහිරු රැස් කඳ නැහැවී
දිටි දසුන් හද කැලඹුනි

වත්සුනු වතෙහි වියැකී
නයන අඳුනද බොද වී
කියුඹුවැල් ඔහෙ විසිරී
යකින්නක සිරි ගත්තී

September 07, 2011

සුළඟෙ රිද්මෙට..



සුළඟෙ රිද්මෙට
තාල නගමින
මුදු සරින් නළවමින්
නුඹට මිමිණූ මා … අද,
සක්වලත් වෙව්ලන
ගර්ජනා නගනු යැයි
අහිoසක පුoචි හිත
විසිරිලා ගොහින්වද?
රතු වුනත් මා දෙනෙත්
නැත දොසක් හිත යටින්
දොස් දෙවොල් හඬතැලුම්
ආදරේ නිසා මැයි...
සදාකල් නුඹ ලඟින්
රැදෙනූ අවැසී නිසයි...