October 31, 2015

විශ්‍රාමික විප්ලවවාදියෙකුගේ සංතාපය





පෙරඹරින් නැගෙන හිරු කෙදි
පොරව ගන්නත් මත්තෙන්
එඩි බිඳුනු හිත් දෙමංසලක
ඇතිරුවෙමි,
මටසිලිටි මගකට පාවඩ......

අකුරු සිර කල පවුරු බිඳිනට
යකඩ සපත්තුවට සිර වූ නුඹ
යුක්තිය අයදින දෑස් විනිවිද
හැඬුවෙමි,
ඔසවන්න වාරු මද දෑත සිප......

නුඹේ කකියන රුහිරු පැහැ ගෙන
හෙට නැගෙන අරුණැල්ල යට
ලෙළ දෙන රතු ධජ හෙවණක
හෙළන්නෙමි,                                      
නුඹ නමින් සුසුමක් සෙනෙහෙබර.......

October 18, 2015

බලු කූඩුවේ සිට පියෙකුගෙන්......



(නිමිත්ත:http://gossip.hirufm.lk/6864/2015/10/heinous-act-daughter-entrapped-her-father-in-dog-kennel-for-several-years.html)


අනිත දම් හිත පුරා දරමින්
බවුන් වැඩ බලු කූඩුවේ
මෙත් පතමි වියපත් හිතින්
නුඹට මගෙ සුදු දෝණියේ….

එදා කුළුදුල් කිරි සුවඳ වැද
රනින් ඔප විය ජීවිතේ
නුඹේ කැත කුණු පිරිමදින කළ
තවත් වැඩි විය පිය සෙනේ….

දෑතේ කර ගැට මත්තෙනි
නුඹගේ ලොව හිරු දිලුණේ
ගත දා බිඳු මල් වැස්සෙනි
ජීවන කෙත අස්වැදුණේ…….

කුක්කන්ගේ සුරතල් සරින්
උතුරන්න මුවගින් සිනා
හෙට දිනේ පරලොව ඉදන්
බලමි දූ නුඹෙ රන් සිනා….

October 05, 2015

චාමරලාගේ කතාව-ඇගේ ඇසින්.....



රන් නූලෙන් සළු ගෙත්තම්
මැවෙයි ඇඟිලි තුඩින්
මා දිවියම රන් පැහැ විණ
ඇනි නුඹ දළ තුඩින්…..

සුවඳ උරා මල අමතක
බඹරිඳු විය නුඹත්
එළි සෙව්වෙම් අඳුරු රැයක
පා ළඟ වැටි දණින්….

අත් සතරක් පෙති තැලුවද
යළි නුඹ මගෙ ළඟින්
අමාවකේ මැලවුණු සඳ
හෙට පූදියි තුටින්….

September 30, 2015

කාළය මැව් වෙනස...




හිරි පොද වැහි ඉසින
සීත අඳුරු රාත්‍රියක
ගත නොතෙමි සිත තෙමමින්
බෝම දුරක් ඉගිළුනු හැටි......

මධු බදුන් තුලටම වැද
ධූම මකරන්දයෙන් ඉපිල
අවන්හලක කල් මරන්න
අත වනනා මල් වැස්සද?

සමනළ හැඟුමින් පිබිද
ආගන්තුක සුසුම් සරට
පොරෝණයක එතිලා ඉන්න
නැකැත් බලන්නත් අවැසිද?

කියවන්නට එක හුස්මට
කතා පොතක් රසාලිප්ත
විදිමින් උණු කෝපි බිඳක්
අන් සුබ හෝරා කොයින්ද?

බිඳ වැටී මනරම් හීනය
ඇසී අඹුවගෙ මැසිවිල්ල
නළවගන්නට පුතනුවන් හඬන
පතයි පියෙකුගෙ සහය.....

September 25, 2015

රහසින් පෙම් කළෙමි...





නුඹේ නෙක වර්ණ
දුර ඉදන් පිරික්සන
හැම තත්පරයකම
හද සලිත වුණා සත්තයි...

චන්ද්‍ර මණ්ඩලය සිහිව
පවසන්න දිරි  මද පෙම
අත්තටු සිදුනු විහගෙක්ය
පාලු අඳුරු නිම්නයක....

හිත් විලේ එක මුල්ලක
විකසිත රහස් පෙම් පියුම
සලන සුවඳවත් පුසුඹ
දැනේ, නෙත් පියා ගත් හැම විට....

නෙලන්නට ගොස් නියඟලා මල්
හැලෙයි ගෙපැලට විෂ බඳුන්
දිවයුරු එළි කල නිවෙස්
නිවී යයි දුක් කදු මතින්.....

ගහක පිපි සුපිෂ්පිත කුසුම්
සොඳුරු බව විදි සහස් නෙත්,
නෙලා ගත් කල කුසුම්
සුවඳ වියැකී යයි සැනින්....

July 08, 2015

නූපන් පුතුට....





මා සොදුරු පියබඳ
සුදු ඇතුන්, නෙළුම් මල්
සිහින දුටු දින සිට
සත් මසකුත් ගොසින්...

කොසොල් රජ එදවස
දුටු සිහින සොලොසම
දිනපතා පුවත් වල
මුල් සිරැසි විලසට....

ගයමි නැළවිලි ගී
අඟවන්න මා පුතුට,
බුදුනුත් වැඩිය මේ බිම
කේතුමතී පුර නොම වග....

ගොජර මඩ වලක් තුල
නෙළුමක්ව සුපිපෙන්න,
තනමි නෙක මo පෙත්
කටු කොහොල් අතරින්....