March 04, 2012

පුර හඳටත් උඩින් යන්න....



විදුලි වේගෙන් ඇදෙන දුම්රිය
කවුලුවෙන් පිට අදුරු ලෝකය
මවයි මා හද සොඳුරු සිතුවම්
නොමැති මුත් නුඹ පෙනෙන මානෙක

නමුදු හනිකට ගමන අහවර
දනිමි නුඹ සුව ලැබෙයි නිසැකව
රැගෙන යයි මා දිව්ය ලෝකෙට
බෝ දුරක් පුර හඳත් පසු කර

පසුවදන:

       මේ දවස් වල ටිකක් කාර්ය බහුල නිසා අලුතින් නම් මුකුත් ලියන්න බැරි වුණා. නමුත්, මම මීට අවුරුදු 4කට වගේ කලින් ලියපු එකක් නිකමට වගේ මතක් වුණා. එම නිර්මාණය හා බැඳුනු කතාව බොහොම අපූරු එකක් නිසා මේ විදියට  පල කරන එක හොඳයි කියලා හිතුණා. දැන් මම කියන්නම් කතාව මොකක්ද කියලා;

      මම ඉස්සර හැම සිකුරාදවකම වගේ රාජකාරි ඉවර වෙලා ගෙදර යනවා. මොකද කොළඹ ඉදලා හැමදාම ගෙදර යන්න පුලුවන් දුරක නෙවෙයි අපේ ගෙවල් තියෙන්නේ.ඉතින් දුම්රිය තමයි පිහිටට හිටියේ. සුපුරුදු විදියට එක සිකුරාදාවක මම දුම්රියේ පොතක් කියවමින් ගමන් කරමින් සිටියා. මොකද පැය 4ක් විතර යන්න ඕනනේ. ඉතින් මට එහා පැත්තේ අසුනේ තවත් සගයෙක් හිටියා මගේ වයසෙම වගේකම්මැලි කමක් දැනුන නිසා නිකමට එයත් එක්ක කතාවක් දැම්මා. එතකොත දැන ගත්ත දේ තමයි ඉහත නිර්මාණයට පදනම් වුණේ.

     ඔහු කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරනවා. නමුත් හැම සිකුරාදකම ගෙදර එන්නේ හරිම නොඉවසිල්ලෙන්. ඒකට හේතුව ගැහැණු ලමයෙක්, බිරිඳ , දරුවන් වගේ දෙයක් නෙමෙයි. ඔහු යම් කිසි මත්වන දෙයකට ඇබ්බැහි වී හිටියා. එය බාවිතා කල පසු ඔහුව හඳට අරන් යන බවත් විස්වාස කරා. නමුත්, කොළඹදී ඔහුට එය පාවිච්චි කරන්න විදියක් තිබිලා නැහැ. ඉතින්, බොහොම අමාරුවෙන් සතියේ දවස් වල වැඩ කරලා ගමට එන්නේ එයින් ටිකක් පාවිච්චි කරන්නහොඳම කාරණය තමයි ඔහුගේ ගමේ  ඔහුටම ගැලපෙන යාලුවන් කණ්ඩායමකුත් සිටිම. ඔවුන් දුම්රිය ස්ථානය අසල තැනක මත් වෙන්න අවශය කලමනා සුදානම් කරගෙන රැදී ඉන්නවලු ඔහු එනකම්.

     ඉතින්, හඳට යන්න, ගමන ඉවර වෙනකල් නොඉවසිල්ලෙන් බලන් හිටිය සගයා මට දුන් අදහස මෙසේ පද පෙලක් ලෙස ජoගම දුරකතනයේ කොටා ගත්තේ එදිනම දුමිරියේ යන ගමන්මයි.   එය කිසිඳු වෙනසක් නොකර මෙසේ පල කරන්නේ එම සජීවි අත්දැකීමේ හැඟිම් ඔබ හටත් විඳගැනීමටයි.