October 31, 2015

විශ්‍රාමික විප්ලවවාදියෙකුගේ සංතාපය





පෙරඹරින් නැගෙන හිරු කෙදි
පොරව ගන්නත් මත්තෙන්
එඩි බිඳුනු හිත් දෙමංසලක
ඇතිරුවෙමි,
මටසිලිටි මගකට පාවඩ......

අකුරු සිර කල පවුරු බිඳිනට
යකඩ සපත්තුවට සිර වූ නුඹ
යුක්තිය අයදින දෑස් විනිවිද
හැඬුවෙමි,
ඔසවන්න වාරු මද දෑත සිප......

නුඹේ කකියන රුහිරු පැහැ ගෙන
හෙට නැගෙන අරුණැල්ල යට
ලෙළ දෙන රතු ධජ හෙවණක
හෙළන්නෙමි,                                      
නුඹ නමින් සුසුමක් සෙනෙහෙබර.......

October 18, 2015

බලු කූඩුවේ සිට පියෙකුගෙන්......



(නිමිත්ත:http://gossip.hirufm.lk/6864/2015/10/heinous-act-daughter-entrapped-her-father-in-dog-kennel-for-several-years.html)


අනිත දම් හිත පුරා දරමින්
බවුන් වැඩ බලු කූඩුවේ
මෙත් පතමි වියපත් හිතින්
නුඹට මගෙ සුදු දෝණියේ….

එදා කුළුදුල් කිරි සුවඳ වැද
රනින් ඔප විය ජීවිතේ
නුඹේ කැත කුණු පිරිමදින කළ
තවත් වැඩි විය පිය සෙනේ….

දෑතේ කර ගැට මත්තෙනි
නුඹගේ ලොව හිරු දිලුණේ
ගත දා බිඳු මල් වැස්සෙනි
ජීවන කෙත අස්වැදුණේ…….

කුක්කන්ගේ සුරතල් සරින්
උතුරන්න මුවගින් සිනා
හෙට දිනේ පරලොව ඉදන්
බලමි දූ නුඹෙ රන් සිනා….

October 05, 2015

චාමරලාගේ කතාව-ඇගේ ඇසින්.....



රන් නූලෙන් සළු ගෙත්තම්
මැවෙයි ඇඟිලි තුඩින්
මා දිවියම රන් පැහැ විණ
ඇනි නුඹ දළ තුඩින්…..

සුවඳ උරා මල අමතක
බඹරිඳු විය නුඹත්
එළි සෙව්වෙම් අඳුරු රැයක
පා ළඟ වැටි දණින්….

අත් සතරක් පෙති තැලුවද
යළි නුඹ මගෙ ළඟින්
අමාවකේ මැලවුණු සඳ
හෙට පූදියි තුටින්….