September 30, 2015

කාළය මැව් වෙනස...




හිරි පොද වැහි ඉසින
සීත අඳුරු රාත්‍රියක
ගත නොතෙමි සිත තෙමමින්
බෝම දුරක් ඉගිළුනු හැටි......

මධු බදුන් තුලටම වැද
ධූම මකරන්දයෙන් ඉපිල
අවන්හලක කල් මරන්න
අත වනනා මල් වැස්සද?

සමනළ හැඟුමින් පිබිද
ආගන්තුක සුසුම් සරට
පොරෝණයක එතිලා ඉන්න
නැකැත් බලන්නත් අවැසිද?

කියවන්නට එක හුස්මට
කතා පොතක් රසාලිප්ත
විදිමින් උණු කෝපි බිඳක්
අන් සුබ හෝරා කොයින්ද?

බිඳ වැටී මනරම් හීනය
ඇසී අඹුවගෙ මැසිවිල්ල
නළවගන්නට පුතනුවන් හඬන
පතයි පියෙකුගෙ සහය.....

September 25, 2015

රහසින් පෙම් කළෙමි...





නුඹේ නෙක වර්ණ
දුර ඉදන් පිරික්සන
හැම තත්පරයකම
හද සලිත වුණා සත්තයි...

චන්ද්‍ර මණ්ඩලය සිහිව
පවසන්න දිරි  මද පෙම
අත්තටු සිදුනු විහගෙක්ය
පාලු අඳුරු නිම්නයක....

හිත් විලේ එක මුල්ලක
විකසිත රහස් පෙම් පියුම
සලන සුවඳවත් පුසුඹ
දැනේ, නෙත් පියා ගත් හැම විට....

නෙලන්නට ගොස් නියඟලා මල්
හැලෙයි ගෙපැලට විෂ බඳුන්
දිවයුරු එළි කල නිවෙස්
නිවී යයි දුක් කදු මතින්.....

ගහක පිපි සුපිෂ්පිත කුසුම්
සොඳුරු බව විදි සහස් නෙත්,
නෙලා ගත් කල කුසුම්
සුවඳ වියැකී යයි සැනින්....