February 06, 2012

පියෙකුගේ විලාපය...



ගිනි නිවුණ තල් අරඹ
හෙලයි සැනසුම් සුසුම්
දළු දමා පීදෙන
ළපටි කැල දකිමින

තවම කළු දුමාරය
පහව නැත මසිතින්,
හීනෙනුත්  කොදුරණ
අහිමි දරු පෙම මිස

අහස් කුස පීරන
කදුළු හිඟ දෙනුවන්,
සොයා තරු කැට අතර
නැසී ගිය පුතු දෙපළ

ඉතිරි පුතුනුත් රැගෙන
හැර ගියා බිරිදත්,
මහා ගිරි දුක් කන්ද
තබා වැහැරුණ ගෙපැල

නෙත් අයා පියවි ලොව
කෙසේ මේ දුක දරම්
රා පැනින් මත්ව ඉද
ඔහේ තෙපලනු මිස

බළල් පැටියෝ නුඹ හැර
නොමැති කල මට කිසිවෙක්,
අසාපන් මේ දුක් කව
වඩිනතුරු නිදි ලෝකෙට



පසුවදන:
මෙය මා විසින් ලත් අත්දැකීමක් ඇසුරිනි. දිනක් යාපනය, කරෙය්නගර් හි මා මිතුරෙකුගේ නිවසේ සතුටු සාමිචියේ යෙදෙමින් සිටි අතරතුර කටගොන්නක් බී ගත් වයසක පුද්ගලයෙක් පූස් පැටවෙක්ද පපුවෙහි හොවාගෙන ඔහුගේ නිවසට පැමිනියේ මිතුරාවත් අපහසුතවයට පත් කරමිනි. ඔහුගේ නිවසේ අනිත් අය ඉතා අපහසුවෙන් එම පුද්ගලයා නිවස පිටිපස්සට දැක්කුවද, ඔහු පූස් පැටවත් සමඟ කරන සන්වාදය අපි දුටිමු. එය මුලින් අපට සිනහ වීමට කාරනයක් පමණක් වුවද පසුව ඔහු දමිළ බසින් කෙරෙන සන්වාදය මිතුරා විසින් පැහැදිලි කල පසු එම අනුවේදනීය පුවත මට දැන ගන්නට ලැබුනි. අවසානයේදි, එය මා විසින් මෙලෙස කවි පන්තියක් ලෙස ගලපන්න ගත් වැයමයි මේ.